මගේ පුංචි පුතුට අප්පච්චීගෙන්....

අද ඉපදුනු පුංචි පුතුට ආදරයෙන් ලියමි,

චූටි පුතේ, දින සති මාස ගනන් ඇඟිළි ගැණ ගැණ බලාගෙන උන්නු පුංචි අමුත්තා අද අපේ කැදැල්ලට ආවා. අම්මයි මායි වින්ද දුක් කඳුළු වල ඵල අද අපි බුක්ති විඳිනවා. පැටියෝ, අද ඔයාගෙ අම්මගෙයි මාගෙයි ඇස්වල පිරී තිබෙන සතුටෙහි අයිති කරුවා ඔයාමයි. ඒ වගේම ඔයා අපේ ඇස්වල තිබෙන සතුටට දුක් කඳුළු එක්කරන්නේ නෑ නේද පැටියෝ.

ඔයා කුසට ආවා කියල දැනගත්ත දවසේ ඉඳලම අම්මා ඔයාව පණ වගේ ආරක්ෂා කලා. ඔයා අපේ ලෝකයට එන්න යනවා කියල දැනගත්ත දවසේ ඉඳලම අපි ඔයාව පිළිගන්න මඟ බලාගෙන හිටියා. ඔයා මේ ලෝකෙ එළිය දකිනා තුරුත් අම්මගෙයි මගෙයි ලෝක වල පිරිලා හිටියෙ ඔයාම විතරයි. ඔයා අම්මාගේ කුසේ පිළිසිඳ ගත්තට පස්සෙ අම්මා කෑවෙ, බිව්වෙ ඔයා ගැනම හිතලයි, ඔයාට හොඳ දේවල්ම විතරයි. ඔයාට හොඳනෑ කියල කව්රුහරි විහිළුවට හරි කියපු කෑමක් කොච්චර ආස වුනත් ඔයාගෙ අම්ම කටේවත් තිබ්බෙ නෑ.

ඔයා මුළින්ම දඟලපු දවස අපිට හොඳටම මතකයි. අම්මි ඔයා දඟලනව කියල කිව්වාම මම කන තියාගෙන අහගෙන කොච්චර වෙලා බලාගෙන හිටියද. ඒ එක දවසක ඔයා රෑ දඟලන්නෑ කියල අම්ම බයවෙලා, අම්මයි මායි මුළු රෑම නිඳිනැතුව බලාගෙන හිටියා. මට ‍මූන නොපෙනෙන්න අම්මි එදා ගොඩාක් ඇඩුවා. මාත් අම්මිගෙ කඳුළු පිසින්න ගියේ නැත්තෙ මගේ කඳුළු පෙනෙයි කියන බයටමයි. එදා උදෙත් අම්මිත් මාත් වචනයක් වත් ඔයාගැන කතානොකර හිටියට අපි දෙන්නම උන්නෙ පපුව පිච්චි පිච්චි. ඒත් අම්මි ඔෆිස් එකට යනකොට, ආයෙත් ඔයා දඟලන්න පටන්ගත්ත වෙලාවේ අම්මි මට කතා කරල කිව්වේ කොච්චර සතුටින්ද.

අම්මි හිතුවෙ ඔයා දුවෙක් කියල උනාට මම දැනගෙන හිටියා ඔයා මගෙ පුතා කියලා. ඒත් ඔයා පුතෙක් උනත්, දුවෙක් උනත් අපිට වැදගත් උනේ නෑ. අපි ඔයා කව්ද කියල කලින් දැනගන්න උත්සාහ නොකලේ ඒ නිසාමයි. ඔයා කවුරු උනත් ඔයා අපේ, කියලා එහෙම කරන්න ඕන නෑ කියල කිව්වෙත් අම්මමයි.

ඔයා දන්නවාද, ඔයා ඉපදෙන්න ඉන්නකොට මහ රෑ අම්මි ඇහැරෙනවා, නින්ද යන්නැතුව ඉන්නවා. ඒත් අම්මි නිඳිවගේ හෙලවෙන්නෙවත් නැතුව ඉන්නෙ, හෙලවුනොත් අප්පච්චිත් ඇහැරෙයි කියලයි. ඒත් අම්මි සැකේට මට හෙමීට කතා කරනකොට ඇයි කියල අහන්න මමත් ඇහැරිලාම හිටියා.

අම්මි ජීවිතේ පලවෙනි වතාවට තනියම හිටියෙ ඔයාව ලැබෙන්න ඉන්නකොටයි. මට පුළුවං වුනානම් මටත් තනියට ඉන්න පුළුවං තැනකයි මම අම්මිව නතර කරන්නේ. ඒත් පැටියෝ මට එහෙම දෙයක් කරගන්නට බැරිවුනා. ඒත් මම හිත සනසාගත්තෙ අම්මිගෙ තනියට අපේ පැටිය ඉන්න නිසයි. ඒ වගේම අම්මිත්, මට දුක හිතෙන නිසාද ‍කොහෙදෝ තනියම ඉන්න බෑ කියලවත් කිව්වෙ නෑ. ඒ සියළු දුක් වින්දෙ ඔයාව මේ ලෝකෙට බිහි කරන්නයි.

අම්මි, ඔයා ඉපදෙන්න ලං වෙනකොට එයාගෙ අම්මගෙ ගෙදර ගියා. ඒත් හිතකින් නෙවේ. අම්මි දන්නව අම්මි නැතුව, කුසතුල දඟලන පැටියගෙ දාංගලය නැතුව අප්පච්චිට නින්ද යන්නෙ නෑ කියලා. ඒත් අප්පච්චිට වඩා අපි දෙන්නගේ ආදරයෙන් බිහිවුනු පුංචි දඟකාරයාව ආරක්ෂා කරගන්න ඕන නිසාමයි අම්මි මාව තනියම අපේ ගෙදර තියල ගියේ. ඒ කාලෙ මම වැඩිය අම්මිව බලන්න නොගියෙ ආදරේ නැති හින්ද නොවේ, මම ගිහිල්ල බලල ආපසු අපේගෙදර එනකොට අම්මිගෙ පපුවෙ ඇවිලෙන ගින්න ගැන දන්න නිසයි. මටත් දුක හිතෙන නිසයි.

ඔයා ඉපදුනාට පස්සෙ අම්මට ගොඩාක් අමාරු උනත් ඔයාව කොට්එකෙන් තියන්නවත් ඉඩ දුන්නෙ නෑ. ඔයාව අප්පච්චි උකින තුරුම තුරුළු කරගෙන හිටියා. ඔයාව ගත්තෙ සැත්කමක් කරල නිසාම අම්මි ගොඩාක් වේදනාවෙන් හිටියේ. ඒත්, අම්මිට හැරෙන එක ගොඩාක් අමාරු උනත් ඔයා කිරිබොන්නැත් හින්දම පැත්තකට හැරුනේ, එහෙම කරලවත් පොවාගන්න පුළුවන්ද බලන්නමයි. අම්මිට කොච්චර අමාරු උනත් අප්පච්චි ළඟ ඉඳිද්දි පුංචි කෙඳිරිල්ලක්වත් දැම්මෙ නැත්තෙ, එයාගෙ අමාරුව පිටකලේ නැත්තෙ අප්පච්චිට දුක හිතෙයි කියල වෙන්න ඇති. ඒත් ඔයා ඉපදුනු දවසෙ ඔයා බලන්න ගියාම, අම්මිගෙ මූනෙන් පෙනුනු අමාරුව දැකල, වින්ද වේදනාව දැනිල නැඟුනු කඳුළු අම්මිට නොපෙනුනේ කණ්නාඩි දෙක නොගලවපු නිසයි. ඒත් අම්මිට ඒක තේරෙන්න ඇති.

චූටි පුතේ අපේ ලෝකය දැන් ඔයයි. ඔයා වෙනුවෙන් හැම කැප කිරීමක්ම අම්මියි මායි ඉටු කරන්නේ ගොඩාක් ආසාවෙන්. ඔයාට දෙන්න පුළුවන් හැම සැප සම්පතක්ම අපි ආදරයෙන් ලබා දෙනවා. අපි පුංචි කාලේ වින්ද එක දුකක්, වේදනාවක් වත් ඔයාට අපි දෙන්නේ නෑ. මගේ, ඔයාගෙ අප්පච්චිගේ එකම පැතුම "හොඳ මිනිහෙක් වෙයන් පුතේ." ඔයාගෙ අම්මිගෙයි මගෙයි ලෝකෙට ඔයාව ආදරයෙන් පිලිගන්නවා.

භවතු සබ්බ මංගලම්....,
රක්ඛණ්තු සබ්බ දේවතා....,
සබ්බ බුද්ධානුභාවේන....,
සබ්බ ධම්මානුභාවේන..,
සබ්බ සංඝානුභාවේන...,
සදා සොතති භවන්තුතේ....!


මීට,
ඔයාගේම අප්පච්චී

Comments

  1. චූටි පැටියටයි ඔය දෙන්නටයි සුබම සුබ අනාගතයක්...........

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා මෙතැනට දාන්න.

Popular posts from this blog

අද එළිදකින්නට සිටි පුංචි පුතු ගැන