ලංකාවේ සිටිද්දීම ලංකාවේ පුරවැසිකම අහිමි වූ මම.....,

හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා... ඒත් අද මං හිතා ගත්ත මගේ දුක කියන්නවත් මගේ ජීවිතය පාවිච්චි කරන්න ඕන කියලා.

මම මේ වන විට මගේ රටේ පුරවැසි කම අහිමි වුනු තැනැත්තෙක්. (ඒ කියන්නේ මාව මේ ලෝකෙ කිසිම රටකට අයිති නෑ... අයියෝ මට හරි පාළුයි වගේ.....) ඒක නිකං අපබ්‍රංසයක් වගේ දෙයක් නිසා කතාවම කියන්නම්.

මගේ ජාතික හැඳුනුම් පත දැන් හොඳටම දිය වෙලා, නම් නං හොයාගන්නවත් බෑ.. පොලීසියෙන් චෙක් කරනකොට මේක ඉක්මනින් හදාගන්න කියල මාව යවන්නේ, මගේ මූනෙ තියෙන අහිංසක කමට වෙන්න ඇති., ඒත් මගේ අයිඩින්ටිය හදාගන්න ඕන කියන එක මගෙ හිතේ තිබුනා. ඒත් ඒකට වෙනම නිවාඩු දාල මාර රස්තියාදුවතක් වෙලා කරන්න ඕන දෙයක් නිසා කල් දදා හිටියා.

මේ දවස් වල E.P.F එක පරිගණක ගත කරනවනේ, ඒකට මාත් ෆෝම් පුරවගෙන ගියාම මගේ අයිඩින්ටිය භාරගන්න බෑ කියල කියුවා. මොකද ඒක මට ආය සල්ලි ගනිද්දි ප්‍රශ්ණයක් වෙයි කියලා. ඒ පාර නං මගේ හැඳුනුම් පත ඉක්මනටම හදනවා කියල හිතා ගත්තා. (ඒත් ඒකට වෙලාවක් හමුබවුනේ නෑ)

ඔය අස්සේ මට අඩුගානට ඩ්‍රයිවින් කියල දෙන අඳුරන තැනක් හමුබවුනා. (මගේ මාමගෙ පුතා යන කොට මාව බලෙන්ම අරගෙන ගියා.) එහෙනං එතකොට මට ලයිසන් එකවත් තියෙනවනේ, ආය ජාතික හැඳුනුම් පතකට කට්ට කන්න ඕන නෑ කියලම හිතලයි ඒකට මං ගියේ. මගේ කරුමෙ කියන්නෙ, සල්ලිත් බැඳල ඉවර උනාම අයිඩින්ටිය බලලා ලර්නර්ස් එකෙන් කියාපි මේ අයිඩින්ටිය නං භා ගන්න එකක් නෑ, ඉක්මනින් අළුතින් හදාගන්න, නැත්තං මෝටර් රථ කොමසාරිස් කාර්ය්‍යාලයෙන් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙයි කියලා. හැබැයි ලයිසන් එක ගන්න කිව්වාම අයිඩින්ටිය එක දවසින් ගන්න පුළුවං කියලත් කිව්වා.

ඇති යන්තං ඒක වත් තියෙනවනේ කියල, එක දවසින් අයිඩින්ටිය ගන්න මං තීරණය කලා. 1919 ට කතා කරල (ජාතික තොරතුරු කේන්ද්‍රය) අයිඩින්ටියක කොපියක් ගන්න ඕන ලිය කියවිලි ටිකත් අහගත්ත. කොහොම උනත් 1919 අපේ ටෙලිෆෝන් කස්ටමර් කෙයා එකට වඩා ගොඩාක් හොඳයි. රජයේ ආයතනයක් උනාට මාර හොඳට මට කියල, පැහැදිලි කරල දුන්නා.

මම 1919න් කියපු විදිහට ඕන කරන ලියකියවිලි හදාගෙන, උදේ පාන්දරින්ම ගියා ග්‍රාමසේවක මුනගැහෙන්න. අපේ ග්‍රාමසේවක (505A) අළුතින් ආපු කෙනෙක්, ගමේ කෙනෙකුත් නෙවේ. ඒත් මට මේ අවුරුද්ද මුල ඡන්දෙත් තිබ්බ නිසා එච්චර අවුලක් වෙන එකක් නෑ කියල හිතාගෙනයි ගියේ.

මම යනකොට කිඹුලෙක් දිග ඇදිල ඉන්නවා වගේ, මෝඩ පාට මිනිහෙක් ෆයිල් ගොඩක් වට කරගෙන ගාම්භීර කියල හිතාගෙන සැපට ඉඳගෙන ඉන්නවා. මම ආපු කාරණය කියන ගමං මගේ හැඳුනුම්පතත් ඉදිරිපත් කලා, ඒ මනුස්සය ‍මගේ හැඳුනුම් පත දිහා බලන්නෙවත් නැතුව ගෙදර අංකය ඇහුවා. අපි හිටියෙ රජයේ නිල නිවාස වලනේ, ඉතිං මම ගෙදර අංකය කියනකොට ඒ මනුස්සය ෆයිල් එකක් දිග හැරලා මෙයා කව්ව කියල නමක් පෙන්නුවා, ඒ කවුද කියල මම දන්නෙ නෑ, මම හොල්මං උනා, ගෙදර අංකයත් හරි ඒත් ඉන්නෙ වෙන කෙනෙක්. මේක නෙවේ කියල කිව්වාම ඒහෙනං කරන්න දෙයක් නෑ, මට ලියුමක් දෙන්න බෑ කියල මහා ගෝරනාඩුවක් කරල මා‍ව එළවගත්තා.

මම ඒත් සැලුනෙ නෑ. එලියට ගිහිනුත් කල්පනා කරලා, කොහොම හරි මේ ලිස්ට් එකේ තියෙන්න ඕනෙනේ කියල හිතල, ආයෙත් බොහොම යටහත් පහත්ව කිව්ව පොඩ්ඩක් හොය බලන්න කියලා, ‍මිනිහ එතකොට 2007 ලිස්ට් එක පෙරලුවා, ආයෙත් වැරදි තැනම නතර උනා, ඒත් මම පොඩ්ඩක් ආපස්සට පෙරලනකොට මට අපේ ගෙදර කට්ටියගෙ නම් සෙට් එක හම්බවුනා. ඒක පෙන්නනකොට වල් ග්‍රාමය කියාපි ඒගෙදර කට්ටිය දැං නෑ, ඒ අය ගෙවල් ඇරල ගිහිං කියල. මට එතකොටයි මතක් උනේ මේ අවුරුද්දෙ මැද අපෙ තාත්තට නිල නිවාස මාරු උනානේ, (ඒත් 2007/2008 හැම ලිස්ට් එකකම මම හිටියා. )

මම ඇහුවා දැං ට මොකක්ද කරන්න පුළුවං කියලා. ඕනනං අළුත් තැන ග්‍රාමසේවකට ලියුමක් දෙන්න පුළුවං කියල ග්‍රාමය කිව්වා. මම කිව්ව දැං අපි ඉන්නෙ අහවල් නිල නිවාසෙ කියල, එත කොට ග්‍රාමය කියාපි එහෙනං ඒකත් කෙරෙන්නෑ කියල. මොකද ඒ නිල නිවාසත් අයිති මෙයාටමලු . මෙයාට අපි ඡන්ද නාම ලේඛන පුරවල දීල නැතිලු. ඒත් පුරවල නොදෙන්න අපිට හම්බුනු ලේඛණයක් නං නෑ.

මං කිව්වා එහෙනං මම දැනට පදිංචි වෙලා ඉන්නෙ බිරිඳගෙ ගෙදර,(මම විවාහ සහතිකෙත් කෝකටත් එක්ක අරගෙන ගියා.) ඒ හින්ද එහෙටවත් දාල මගේ හැඳුනුම් පත හදල දෙන්න කියල. එතකොට බිරිඳගේ ජන්ද කොට්ඨාශය මොකක්ද කියල ඇහුවා. මම කිව්වා ඒකත් ඔබතුමාගෙම කොට්ඨාශෙ තමයි කියල. එහෙනං ඒ වැඩෙත් කෙරන්නෑ කියල ග්‍රාමයා කියාපි.

මිනිහට වෙන කොට්ඨාසෙකට නං ලියුමක් දෙන්න පුළුවං, ඒත් තමංගෙ කොට්ඨාශෙ නිසා මගේ වැඩේ කරල දෙන්න බෑ. මං බොහොම බැගෑපත්වෙලා ග්‍රාමයාට කිව්වා මට අයිඩින්ටිය හදාගන්න එක අත්‍යාවශ්‍යයි කියලා. ඒත් එතකොට ඌ මට කියාපි, මේ අවුරැද්ද අවසානයේ අභියාඡනා දාන්න පුළුවං එතකොට ඔයා‍ දාන්න කියල. මට ඉක්මනින් කරගන්න ඕන වැඩේට අවුරුද්ද ඉවරවෙනකං ඉන්න වෙනවනේ කියල මං ගිව්වහම, මේ අවුරුද්දෙ ඔයා ලියාපදිංචි වෙලා නෑ, (‍නෑ කියල කියුවට එයා ගාව තිබ්බ ලිස්ට් එකෙත් නම තිබ්බා) ඒක නිසා මට ඔයාට නව හැඳුනුම් පතක් ගන්න ලියන්න බෑ කියල කිව්වා.

අන්තිමේදි මම හිස් අතිං ගෙදර ආව. රියදුරු බලපත්‍රය හරි පාස්පෝට් එක හරි ගන්න අනිවාර්යයෙන්ම පැහැදිලි ජා. හැඳුනුම් පතක් තියෙන්න ඕනලු. මට හැඳුනුම් පතක් ගන්න තව කාලයක් බලාගෙන ඉන්න වෙයිලු. ‍අනේ මේක බලපු කව්රුහරි පිංවතෙක්, හොර අයිඩින්ටි හදන තැනක් දන්නවනං මට කියන්න. මේ රටේ හරියට වැඩක් කරන්න ඉඩක් නෑ.., මං කියන කෙනාටත් ගානක් දෙන්නං...

මං ගියා

Comments

Popular posts from this blog

අද එළිදකින්නට සිටි පුංචි පුතු ගැන