ආර්ථික අර්බුදය , ශ්‍රී ලංකාව හා අළුත් අවුරුද්ද

මුළු ලෝකයම ආර්ථික අර්බුදය නිසා අසරණ වී ඇත. මිනිසුන් භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රමාණයද අඩුවී ඇත. අමෙරිකාව, කැනඩාව ආදී ආර්ථික අතින් ඉහලින්ම සිටින රටවල් පවා මිනිසුන්ට වියදම් කිරීමේදී පරිස්සම් වන ලෙස අනතුරු අඟවා ඇත. එමෙන්ම ඒ රටවල මිනිසුන් ‍ගේ පරිභෝජනය අඩුවීම හා තම රටවල නිපදවන දේ කරා නැඹුරු වීම නිසා අප වැනි තුන්වන ලෝකයේ රටවලට මහත් බලපෑමක් සිදුවී ඇත.

ඒත් දැන් අපේ රටේ......,

ගෙවී ගියේ අවුරුදු කාලයයි, එම කාලයේදී ඇත්තවශයෙන්ම අපිට ආර්ථික අර්බුදයක් ගැන හැගීමක් වත් තිබුනාද? මගේ හැඟීම නම් 'නැත' යන්නයි. අවුරුදු කාලය පුරාම ලංකාවේ ප්‍රධාන නඟර මහජනයාගෙන් පිරී පැවතිනි. අවුරුදු කෑමට, තෑගි දීමට මිනිසුන් වෙළඳහැල් තුල රැස් කමින් භාණ්ඩ තේරූහ. ඇඟලුම් අලෙවිසැල් අසල මහා මාර්ග පවා ජනයාගෙන් පිරී ගියේ ඔවුන් පිටවන ප්‍රමාණයට පමනක් මිනිසුන් ඇතුල් කරගත් නිසාවෙනි. එසේම මුදල් කවුන්ටර අසලද ඉතා දිගු පෝලිම් දක්නට ලැබිනි.

එසේම සුපිරි වෙළඳසල්, මත්පැන් අලෙවිසැල් ආදී සෑම ස්ථානයක් ම ජනයාගෙන් පිරී පැවතිනි. ලෝක අර්බුදය පසකට තබා ජනයා ජයට අවුරුදු කෑමට එක්විය. එයට හේතුවක් ද ඇත.

ලෝක ආර්ථික අර්බුදයෙහි බලපෑම බලවත් ලෙස දැනුනේ තොරතුරු තාක්ෂණ හා ඇඟලුම් ක්ශේත්‍රයන්ට පමණි. නමුත් අනෙක් සෑම ක්ශේත්‍රයකම පිබිදීමක් පහුගිය කාලයේ දක්නට ලැබිනි. ලංකාව කෘෂිකාර්මික රටකි. වර්තමානයේ කෘෂිකර්ම ක්ශේත්‍රය ට ඇත්තේ ඉතාමත් හොඳ කාලයකි. ගොවියා වහ බිව් කාලය කෙලවර වී ඇත. ගොවියා රජ වී ඇත. අතීතයේ පහත්ම රැකියාවක් ලෙස සැලකූ ගොවිතැන අද සුපිරි රැකියාවක් ගණයට පත් වී ඇත. ගොවියන් ගේ උපාධිධාරී පුතාද අද බලන්නේ රජයේ රැකියාවක් නොවේ, කුඹුරට බහින්නටය. ඒ එය ඉතාමත් ලාභදායී රැකියාවක් වන හෙයිනි.


පහුගිය දිනෙක පොලොන්නරුවේ නෑ ගෙදරකට මම ගියෙමි. එම නිවස ඉදිරිපිට ට්‍රැක්ටරයක් හා නවීන වෑන් රියක් නවතා තිබිනි. ඒවාඅසල නිවසක විය යුතුයි කියා මම සිතුවේ මොවුන් පහුගිය කාලයේ ජීවත් වූයේ ඉතා අමාරුවෙන් හෙයිනි. ඒදිනවල බයිසිකලයක් වත් ඔවුන්ට තිබුනේ නැත. නිකමට ඇසූවිට ඔහු කීවේ ඒවා තමන්ගේ බවය. මට හීන් දාඩිය දැමුවේ උසස් යැයි සම්මත රැකියාවක් කරන අපටත් එවැනි වාහන හීනයක් වැනි දෙයක් වීම නිසාය. දැන් ඔවුන් ලක්ෂපතියෝ ය, කුඹුරට යන්නේ බයික් එකිනි, ඇඹුල ගෙන්නේ වෑන් එකිනි. නමුත් අපි, තියෙන රැකියාව කොයිවෙලේ නැවතේදෝ බියෙන් රාජකාරි කරන්නෙමු. කුඹුරක් කොටාගත්තානං මාත් මනුස්සයෙකි කියා මටම සිතිනි.

Comments

Popular posts from this blog

අද එළිදකින්නට සිටි පුංචි පුතු ගැන