තවත් දුවෙක් ඇවිදින්....

 අද මව් තුරුලේ උණුසුම් වෙන්නට වරම් ලද පුංචි දූ කුමරියේ.... ඔයා ඉපදුනේ අගෝස්තු 28 උනාට ඔයා අම්ම ළඟට දුන්නේ අදනේ දුවේ, ඒ වෙග්ම ඔයාගේ අයියයි අක්කලයි ඔයාව දැක්කෙත් අදනේ ඒක නිසා අදම මට මේ සටහන දමන්නට සිතුනා.


 

පුංචි දුවේ... ඔයාව ළඟට ගන්න අම්මා ගොඩාක් දුක් වින්දා. අම්මා මාස 2ක් විතර තනියම රෝහල් ගතවෙලයි හිටියේ. අදත් හවස සුපුරුදු පරිදි මම  අම්ම බලන්නයි ආචේ. ඔයාව දීල තිබ්බ නිසා  අක්කලාටයි අයියාටයි බලන්න ඔයාව වීඩියෝ කරන් ආවා. ICU එකේදී ඒව මුකුත් බෑනේ...

ඔයා කුස තුලට ආවේ අම්මට ටිකක් කල් ඉවසන්න කියලා බොහෝ දෙනෙක් කියද්දීයි. ඔයාගේ චුටි අයියව අම්මට අල්ලන්නවත් ලැබුන්නැති නිසා අම්මා හිටියේ හරීම දුකෙන්. චූටි අයියාව අප්පච්චි බොරැල්ල කනත්තේ භූමිදානය කරලයි අම්මව හොස්පිට්ල් එකෙන් එක්කන් ආචේ. එයා චූටි අයියගේ පින්තූර අප්පච්චිගෙන් බලෙන් ඉල්ලගෙන වැළහිණ්නී වගේ ඇඩුවා. අම්මා ඊට පස්සේ ටිකක් වෙනස්, රෑට අප්පච්චිගේ පපුවට තුරුළුවෙලා අම්මා කඳුළු බීපු දවස් බොහෝමයි. එයාට කොහොම හරි ඉක්මනින් තවත් පැටියෙක් ඕන උනා. අයියලාගේ ඉස්කෝලෙ සමහර අම්මලා කරපු කෙනහිළිකම් හින්දත් ඒ උවමනාව වැඩි උනා. අයියා නැති උනේ රෝහලේ අයගේ වරදින් උනත් අම්මනේ මැරිච්ච දරුවෙක් වැදුවේ... ඉතිං ඒක අම්මගේ හිතට මහා වදයක් උනා.

අම්මා ඔයාව ලැබෙන්න ඉන්නවා කියල දැනගත්තහම හරිම සතුටු උනා. ඒක තහවුරු කරගන්න දවස් දෙක තුනක්ම චෙක් කරගත්තා. ඊට පස්සේ අපි මයුරමාන්න වෛද්‍යතුමාව හමුවෙන්නට තීරණය කලේ එයා වැඩකරපු රෝහල ළඟ වූනිසාත් එයා ගැන හැමෝම හොඳ කිවූ නිසාමයි. අයියව මරාගත්ත රෝහලට නං අම්ම යන්න හිතුව්ම නෑ.

අම්මව බලපු වෛද්‍යතුමා කියපු දෙයින් අපි ටිකක් බය වුනා, මොකද අයියව එලියට ගන්න කරපු දේවල් වලින් අම්මගේ ගර්භාෂය තුවාලවෙලා. ඒ තුවාල සුවවෙන්න කලින් තමයි ඔයා ඇවිත් තියෙන්නේ, ඉතිං අම්මට කිව්වා හොඳටම පරිස්සම් වෙන්න කියලා. අම්මා ට ටික දවසකට පස්සෙ ලේ යන්න ගත්තා, අපි හොඳටම බය වුනා ඒත් අම්මට බෙහෙත් දුන්නා ඒක නතර වෙන්න. ඊට පස්සෙ ඔයා හොඳට අම්මගෙ බඩේ හිටියා.

පුංචි පැටියෝ, චුටි අයියා නැතිඋනාට පස්සෙ අම්මගෙ මූනේ තිබූ පාළුව සම්පූර්ණයෙන්ම නැති උනේ ඔයා නිසයි. ඔයා අම්මගෙ බඩේ වැඩෙද්දී අපි චූටි අයියව ටික ටික අමතක කලා, මොකද දැන් අපිට ඔයා ඉන්නවනේ. අම්මගේ හිතේ ඇතිවුනු දුක වේදනාව ඔයාව අතගාලා තුනී කරගත්තා, ඔයා බණ්ඩියේ නලියන හැටි බලන්න ඔයාගෙ අයියයි, ලොකු අක්කයි, චූටි අක්කයි හරිම ආසාවෙන් හිටියා. 

අපි ඔයා දුවෙක්ද පුතෙක්ද කියල බලන්න ගියේ නෑ, මොකද කලින් පාර ඔක්කොම බලලා හැමෙ දේමත් අරගත්තට පස්සෙනේ චූටිඅයියා නැතිවුනේ... ඉතිං අම්ම කවුරු උනත් කමක් නෑ කියල හිටියා, ඒත් අපේ පවුලේ ගෑනු ළමයි වැඩිනිසා පුතෙක් එනවනම් හොඳයි කියලයි හිටියේ. ඒත් මගේ හිත කීවා මේ පාර නම් දුවෙක් තමයි කියලා. ඉතිං මම බඩුගන්නකොට රෝස පාටට හුරු ඒව වැඩියෙන් ගත්තා...

ඔයාට ඔන බඩුගන්න අම්මට කඩේ යන්න බැරිඋනේ අම්මගෙන් ආයෙත් ලේ යන්න ගත්තු නිසයි. එදා මමත් ගොඩාක් බය උනා. මම අම්මව අරං ඉක්මනින්ම රෝහලට කියා. ඔයා ලොකු වෙන්න වෙන්න ගර්භාෂයේ කලින් තුවාලවෙලා තිබ්බ තැන් වලින් ලේ යනවා... අම්මට ඇඳෙන් බහින්නවත් එපා කියුවා. අම්ම සති 2ක් විතර මුල්ලේරියාව රෝහලේ හිටියා. එතකොට ඔයාට සති 28ක් විතර වෙන්න ඇති, අම්මට රෝහලේදි ආයෙත් ලේ යන්න ගත්තා. අම්ම එකපාරටම සොයිසා රෝහලට මාරු කරලා... මම අම්ම බලන්න යනකොට අම්මගෙ අත් දෙකටම කටු ගහල, හිටිය විදිහත් අමුතුයි. හදිස්සියක් උනොත් ඉක්මනින්ම ඔයාව එලියට ගන්නයි හැමෝම ලෑස්ති වෙලා හිටියේ ඒත් දොස්තරල කියපු විදිහට අම්මයි පැටියයි දෙන්නම මැරෙන්නත් පුළුවන්... 

ඒත් ඊටපස්සෙ අම්මගෙන් ලේ යන එක නතරඋනා. දොස්තරල සති 32න් ඔයාව ගන්නව කියල පස්සෙ 34 හරි පුළුවන්නම් 36 වෙනකම් හරි ඉමු කියලයි තිබ්බ්. ඒත් අම්මට අයියලා අක්කලා බලන්නැතිව ඉන්නත් බෑ. අප්පච්චිනේ ඔක්කොම තනියම කරන්නේ... ඔය අතරෙ තමයි එකපාරටම ආයෙත් ලේ යන්න ගිහින් 28 වෙනිදා ඔයාව එලියට ගත්තේ.

ඔයාව එළියටගන්න සැත්කමේදී අම්මගෙ ගර්භාෂය අයින් කරල මූත්‍රාශය කපල සුද්දකරන්න වගේ ගොඩාක් දේවල් කරන්න තිබුනත් ඒ වාට්ටුව් වෛද්‍යතුමා චූටි අයිය නැතිකල වාට්ටුවේ ප්‍රධාන වෛද්‍යතුමාටත් (කාසල් වීදිය කාන්තා රෝහලේ) සැත්කමට දායකවෙන්න ආරාධනා කරල තිබුනා, මොකද ඔහු මෙවැනි සැත්කම් සඳහා ප්‍රසිද්ධ නිසා. ඔවුන් දෙදෙනාගේම සහයෝගය නිසා අම්මට වෙනත් කිසිදු දෙයක් නොකර, ඔයාව විතරක් අරගෙන සැත්කම සාර්තකව අවසන් කලා. 

අම්මා දවස් 2ක් විතර ICU එකේ හිටියා, එයාට ඔයාව අතටගන්න තියන ආසාව නිසාම තිබුනු වේදනා අමාරුවෙන් දරාගෙන ඉක්මනින් සුව වී සාමාන්‍ය වාට්ට්වට ගියා. අම්මගේ බඩේ ලොකූ කැපුමක් දාල, මොකද ඒක ලොකු සැත්කමක් නිසා. ඒත් ඔයා වෙනුවෙන් අම්ම ඔළුව උස්සන් හිටියා.

ඒ උනත් අම්ම ලඟට ඔයා දුන්නෙ දවස් 5කට පස්සේ, ඒත් පලවෙනිදා ඉඳල ඔයාට කිරි දෙන්න අම්ම පයින් රෝහලේ එහා කොනට ගියා. රෝද පුටුවෙන් ගියොත් ඔයාව දෙන්න පරක්කුවෙයි කියල හිතල වෙන්න ඇති. හැබයි අද මම ඔයාවයි අම්මවයි බලන්න යනකොට අම්ම හිටියේ අවුරුදු 2කට කලින් හිටිය විදිහටමයි. හරීම සතුටින් හිනාවෙවී. තුවාල වල වේදනාව ඒ සතුටටම යටපත් වෙලා...

 පුංචි දුවේ, අම්මව සොයිසා රෝහලට මාරුකරාම හිටපු විදිහට අප්පච්චි ගොඩාක් බය උනා. දොස්තර කියපු දේවල් වලට ඒක ගොඩක් වැඩි උනා. පුංචි පැටියෙක් ගේන්න ගිහින් මට අම්මවත් නැති වෙයි දෝ කියල හිතුනා. අප්පච්චි කොහොමද අයියයි අක්කල දෙන්නයි එක්ක තනියෙන් ඉන්නේ කියල හිතුනා. අම්මව ආයෙත් දකින්න බැරිවෙයි කියන බයට අප්පච්චි අම්මගෙ පින්තූරු කීපයක් ගත්තා, ගෙදර ඇවිත් හූල්ල හූල්ල නිදා ගත්තා.... මං මොකක්ද කරගත්තේ කියල හිත හිත...  (කමක්නෑ දැං ඔක්කොම හරි නේ...)

පුංචි දුවේ, ඔයාට අයියා දැම්ම නම තියල ඉවරයි. ඒ එයාගෙ නම වගේම වෙන්නයි. අක්කලා දෙන්නත් අඟිලි ගැන ගැන ඉන්නේ චූටි නංගි හුරතල් කරන්නයි. 

අප්පච්චී අම්මයි ආදරයෙන් බලාගෙන ඉන්නා පුංචි පැටියව ලෝකයට ගෙනියන්න... ලෝකය පෙන්නන්න, හොඳ නරක කියා දෙන්න. අයියා, අක්කලා වගේ සුන්දර, සෙනෙහෙවන්ත, ආදරණීය දරුවෙක් කරන්න. 

අප්පච්චියි අම්මයි ඔයාලගෙන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ... රටට වැඩදායී හොඳ මනුස්සයෙක් වෙනවානම් අපිට ඒ ඇති. ඔයාලා ඔයාලගේ ගමන යන්න... අපි අත්වැල වෙන්නම්.

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ 

 

සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං
අරහන්තානඤ්ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ

සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං
අරහන්තානඤ්ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ

සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං
අරහන්තානඤ්ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ!

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය