මමත් කාර් එකක් අරන්..... (කාර් එකෙන් ආවර්ජනය කරන මගේ අතීතය)


මේ කතාව මම කොහොම පටන්ගන්නදෝ  තාම සිතුනේ නෑ. නමුත් මේ කතාව මම හා මගේ කාර් එක පසුබිම් කරගෙන ලියන කතාවක්.
මුලින්ම මම ගැන කියලාම කතාව පටන් ගනිමු. මගෙ ගම නුවර. මම බින්දුවෙන් පටන්ගෙන යන්තම් නැගීසිටින කෙනෙක්. මගේ අතීතයනම් එච්චර සුන්දර නෑ. මම පුංචිකාලේම, ඒ කියන්නෙ අවුරුදු 4දී පමන අප්පච්චි පුංචිත් එක්ක පැනල යනවා, ඒ කියන්නෙ අම්මගෙ නංගිත් එක්ක යි මේ පැනල යන්නෙ. ඒ වෙනකොට මල්ලිට අවුරුදු දෙකක් විතර ඇති. මල්ලි පොඩි එකා නිසත් ඌට අප්පච්චිව හිත් කොනකවත් මතකයේ නැති නිසාද කොහදෝ පවුලේ වැඩි අවධානය මල්ලී තමයි. අපි දෙන්න මොන වැරැද්ද කලත් අයියා ඒ හැම එකකටම වැරදි කාරයා. අපේ අම්මට අපිව ජීවත් කරන්න ගොඩාක් මහන්සි වෙන්න උනා. ගෙදර ආවම සීයයි අත්තම්මයි එකතුවෙලා වැරදි කියනකොට වැඩිපුරම ගුටි කෑවෙ මම, ඒත් මල්ලියි මමයි අතර තිබ්බ බැඳීම නං ඒවා වලින් නවත්තන්න බැරි උනා.
ඔන්න ඔය අතරෙ අප්පච්චි අවුරුද්දට දෙතුන් පාරක් ඇවිත් අපිට කැරට් අලයක් කවල යනවා, අප්පච්චි පැනල ගියාම නැවතුනේ කොළඹ, අපිට කොළඹ කතා රස කරකර කියනකොට අපිට හිතුනෙ සුරපුරයක් කියලා. අප්පච්චිට ඕන උනා මල්ලිව එයා ළඟට ගන්න. මොකද එයා හොඳ බ්‍රයිටා. ඒත් අම්ම කැමති උනේ නෑ මල්ලිව යවන්න, මොකද එයා අම්මගෙ හොඳම පුතා නිසා. ඔය අතරෙ මම කැමති උනා කොළඹට යන්න. ඒ 1996 දීවගේ. මම හිටපු නුවර ප්‍රධානපෙලේ පාසල දාල කොළඹ එනවා සාමාන්‍ය මිශ්‍ර පාසලකට. ඒ වෙනකුට අප්පච්චිට තවත් දුවෙක් හිටියා මට වඩා අවුරුදු 5ක් බාල. ඒවගේම තව පුතෙකුත් හිටියා අවුරුද්දක වගේ.
මම කොළඹ ආවට ඒ පෙන්නපු සුරපුරේ නං අහලකවත් නෑ. අප්පච්චි රජයේ රැකියාවට අමතරව උදේට කඩවලට කඩයප්පං දැම්මා. පුංචිත් මහන වැඩ කලා. මට උනේ පාසැල් ගොස් ඇවිදින් පොඩි එවුන්ව බලාගන්න. මට තාම මතකයි ඒ දවස්වල මට ගෙදරින් දෙන්නෙ රු. 5.00 ඒ දවල්ට මාළු බනිස් එකක් ගන්න, යන්නෙ සීසන් එකෙන්. මගේ මට හොඳම යාළුවෝ දෙන්නෙක් හිටියා, ඒ අතරින් එක්කෙනෙකුට ගෙදරින් රු. 10ක් 15ක් ලැබෙනවා. අපි ඉස්කෝලෙ කොච්චර වලි දාගත්තත් පාසල ඇරෙන වෙලාවට හරි යාළුවෝ, මොකද අර යාළුවා පාසල් ඇරිල යදිදි අපිට අයිස් පැකට් අරන් දුන්නා.
කොහොම හරි මම සා. පෙළ කරන්න යද්දියි නංගි ශිෂ්‍යත්වෙට ලෑස්ති උනේ. ඒ දවස්වල මට පුංචි කිව්ව එයාට අපි දෙන්නවම ක්ලාස් දාන්න සල්ලි නෑ, ක්ලාස් යන්න ඕනම නං නංගි ක්ලාස් එකෙන් අයින් කරල මාව යවන්නං කියලා. නංගි අමු මැට්‍ටි උනාට එයා ෆේල් උනාම ඒක උනේ මම නිසයි කියල කියන්න ලොකූ ඉඩක් තිබ්බ නිසා මම O/L වලට අමතර පන්ති යන එක නැවැත්තුවා. හැබැයි මම යන්තං පාස් උනා, ඒත් අපේ අම්ම පොඩි කාලෙ ඉදන්ම අපිව හරිමඟට දැම්ම නිසයි ඒ ටිකත්.
කොහොම හරි උසස් පෙළ කාලෙ පුංචි ඇක්සිඩන්ට් එකකින් නැති වෙනවා. මම උසස් පෙළත් යාන්තමට පාස් කරගන්නවා. උසස් පෙළින් පස්සෙ ‍කොම්පියුටර් ඩිග්‍රියක් කරන්න ඕන උනත් පළමු වාරයෙන් පස්සෙ අප්පච්චි සල්ලි දෙන්න බෑ කියනවා. (හැබැයි මම ක්ලාස් ගියෙත් ලංකාවෙ අඩ්වෙන්ම ක්ලාස් තිබ්බ ආයතනයෙයි) ඊට පස්සෙ මම වෘත්තීය පුහුණු අධිකාරියේ පරිගණක ඩිප්ලෝමාවකට සම්බන්ධ වෙනවා. එකට පස්සෙ, ඒකෙන් හමුවූ යාළුවෙකු මාර්ගයෙන් මට ඩිසයිනින් ජොබ් එකකට පැනගන්න පුළුවං වෙනවා. ඒ වෙනකොට මම අප්පච්චිගේ ‍ගෙදරින්, තව දුරටත් එකට විසීමේ නොහැකියාව මත අයින් වෙල‍ා මගේ යාළුවෙකුගේ ගෙදර තාවකාලිකව පදිංචි වෙනවා. මම අර ජොබ් එකට අවුරුදු දෙකක් විතර කරනකොට මම කසාද බඳිනවා. අසාද බැඳල මුළින්ම වැඩට යනකොට අ‍ායතනගෙන් මට යන්න කියලා ලියුමක් දෙනවා තව මාස තුනකින්. මොකද ඒ දවස්වල තිබ්බ ආර්ථික අවපාතය නිසා ඒ ආයතනය වැහුණා. ඒ දවලස් වල මගේ පෙර කල පින් මහිමයෙන් දෝ මට ලංකාවෙ ප්‍රධානම පෙලේ ආයතනයට යන්න වාසනාව ලැබෙනවා. මම පෙර ආයතනයෙන් අස්වීමේ ලිපිය ගන්න යනකොට HRM අහනවා මගෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවං උනාද කියල, මම දැන් වැඩකරන ආයතනයේ නම කියලුවාම ඇයගේ මුහුණෙහි ඇතිවූ වෙනස තාමත් මතකයි.
ඊට ටික කාලෙකින් මගේ පුතා ඉපදෙනවා. ඒවෙනකං මගෙ බිරිඳ රැකියාවක් කලත් පුතා‍ව හො‍ඳට හදාගන්නත්, මගේ ළමාකාලයෙහි ඇති අමිහිරි මතක මගෙ පුතාට නොදන්නටත් මගෙ බිරිඳ රස්සාවෙන් සමු ගන්නවා.
 ඊට ටික කාලෙකට පස්සෙ අපෙ අම්ම විශ්‍රාම යනවා. එතකොට හම්බුන සල්ලි වලින් කොටසක් (ලක්ෂ 2ක්) මටත් දෙනවා. වාහනයක් ගන්න, වාහනය කියන දේ අපේ පවුලට අළුත් දෙයක්, අප්පච්චිට බයික් එකක් තිබිල තියෙනවා, ඒ කාලෙ. ඒත් රෝද හතරක් කියන්නෙඅපිට හීනයක් වගේ දෙයක්. මේ වෙනකොට මම ලයිසන් එක අරගෙන අවුරුද්දකට ආසන්නයි. 2011 ජනවාරි වල වගේ, මම අර ලක්ෂ දෙකෙන් වාහනයක් ගෙවන්න ගන්න හොයන කාලෙ.
දවසක් මගෙ බිරිඳ මට ඇහුවා අපි ගිහිල්ල අත බලල අනාගතය ගැන බලා ගමුද කියලා. මොකද මට අපල තියෙනවද, මට වාහනයක් ගන්න හොඳයිද කියල දැන ගන්න ඒක හොඳයිනේ. මොකද මේක අපේ පවුලේ පලමු වාහනේ නේ. ඔන්න අපි දෙන්න ගියා ගොතටුව පැත්තෙ ඉන්න හොඳ දෛවඥයෙක් ගවට. ඒයා හොඳට මගේ අත බලල ගිව්වා මේ අපල ගෙවෙන කාලෙ, මට අවුරුදු 30 පැන්නාම තමයි හොඳ කාලෙ පටන් ගන්නෙ කියල. ඒවගේම වාහනයකට වගේ දේකට අතගහන එකනං ඉතාම භයානකයි කියල කිව්වා. ලීසිං කරල ගන්නවා කිව්වහම ඒක මාර භයානක වැඩක් විදිහටයි එයා දැක්කේ.
ඒත් මම වාහන බලන්න ගියා. පාවිච්චි කරපු එකකට වඩා අළුත් පොඩි එකකට අතගහන්නයි මම හිතුවේ. ඉතිං මම ඇල්ටො එකකට සල්ලි බැන්ද. ගාන උනේ 1240000යි. මම 200000 ක් ඇඩ්වාන්ස් දීල බලාගෙන හිටියා. අප්‍රේල් මුල් සතියෙ එනව කිව්වට ආවෙ නෑ. අප්‍රේල් 17 ටැක්ස් වැඩි කලා, මගේ ව‍ාහනේ 1320000 දක්වා ගනං ගියා. කොහොම හරි මැයි මාසෙ වාහනේ ගන්න කොට ලීසිං එක විතරක් 1120000ක් ඒකියන්නෙ මාසෙට 25000ක්. මගේ පඩිය 40000යි ඒකෙන් 25000ක් ගියාම කන්න අඳින්න, ගෙවල් කුලී ලයිට් බිල්, වතුර බිල් හැම දේටම 15000. අත බලපු මිනිහ කියපු දේවල් මතක් උනා,....
කොහොම හරි මම වාහනේ ලීස් කලේ නේෂන් ට්‍රස්ට් බැංකුවේ, එයාල කියන විදිහට ඉන්ෂුවරන්ස් එකත් කරන්න ඕන එයාල හරහා. ඉතිං මම අඩු මිලට හොඳ රක්ෂණ ආයතනයක් කියප හිතුනු ජනෂක්ති ආයතනය තෝරාගත්ත මගේ රක්ෂණයට. මම ඉතිං එකපාර ගෙවන්න අමාරු නිසා වාරික දෙකකට ගෙවල දැම්ම.
ඔය අතර 2011 අගෝස්තු මාසෙ දවසක මගේ කාර් එක ඇක්සිඩන්ට් උනා, ලොරි කාරයෙක් ඇවිත් කාර් එක හැප්පුවා. මම ජනශක්ති කෝල් කරනකොට එයාල කියනවා, මගේ ඉන්ෂුවරන්ස් එක කැන්සල් කරල කියලා. මම මාර බය වුනා. මගේ ජීවිතයේ ර්‍පතම වතාවට ඉන්ෂුවරන්ස් ආයතනයකට කෝල් කලේ, එතනම ලෙඩක්. පස්සෙ හප්පපු ලොරියට යන්න කියල මම මගේ ඉන්ෂුවරන්ස් එක ගැන හොයන්න ගත්ත. පස්සෙ බලනකොට එයාලට වැරදිලා, ඊට පස්සෙ ගෙදරට එක්කෙනෙක් එවනව ව‍ාහනේ චෙක් කරන්න. ඒ ඇක්සිඩන්ට් එකෙන් සති දෙකකට පස්සෙ, ආපු මිනිහ ගිහිල්ල හැප්පුනු තැන් අඩුවෙන් දාල, පස්සෙ ඇඩ්කලත් එයාල හදල දුන්නෙ කලින් දැම්ම ටික විතරයි. මම මේ ප්‍රශ්නෙදි සිය පාරක් විතර කතා කරල ඉන්ෂුවරන්ස් ආයතනයට ගිහිල්ල කියලත්, මට දුන්නෙ අඩුවෙන්, ඒකෙනුත් කලින් ඩැමේජ් උන ඒව කියල 10%ක් කැපුවා. ඒත් වාහනේ හදපු ජනශක්ති ගරාජ් එකෙන් නං කිව්වෙ බ්‍රෑන්ඩ් නිව් එකකින් එහෙම අඩු කරන්නෑ කියලයි. මම ඊට පස්සෙ මගේ ප්‍රශ්ණය ජනශක්ති එකත් එක්ක කතා කලා. එයාල පිලිගත්තෙම නෑ වැරැද්දක් උනා කියල, අන්තිමේදී කතා කරපු මැනේජර් කෙනෙක් කිව්වෙ අපිට කරන්න පුළුවන් මෙච්චරයි ඔයා පුළුවන් දෙයක් කරන්න කියලයි. ඒක කිව්වෙ නෝන්ඩියට වගේ.
මම ගෙදර ඇවිල්ල මුලින්ම කලේ ජනශක්තිඑක මට කල දේ කියල ඊ මේල් යාළුවන්ට‍ යවන එක. මම ඩිසයින කෙනෙක් නිසා ඒ ඊමේල් එක හොඳට හදන්න එයාලගෙ ලෝගෝ එකයි කලර් තීම් එකයි පාවිච්චි කලා. මගේ ජීවිතයේ කරපු ලොකුම වැරුද්දක් ඒක.
මැයි මාසෙ මුල මට ලියුමක් එනව පොලීසියෙන්, මට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයට එන්න කියල. එන්න දීපු දවස මැයි 18, ඒ දවස් වලම තමා මල්ලි කසාද බඳින්නෙත්. මම සී.අයි.ඩී එකට කෝල් කරා, එයාල කිව්ව කට උත්තරයක් ගන්න තියෙනවා එන්න කියල. මම කිව්ව දීපු දවසට නම් බෑ ඔන නං ‍හෙට එන්නං කියල. ඉතිං මම මැයි 10 යනව සී.අයි.ඩී එකට. යාඵවෙක් එක්ක ගියාට යන්න දුන්නෙ මම විතරයි. උදේ 9.00ට ඇතුලට යන්න ඕන නිසා කාර් එක පාක් කරන්න තැනක් නැතුව පාක් කලේ කොන්ටිනෙන්ටල් එකේ පාක් එකේ. ඇතුලට යනකොට ෆෝන් එහෙම දෙන්නත් ඕනනනේ.
ඔන්න ඉතිං මම ඇතුලට ගියා. හේතුව ජනශක්ති එකේ කීර්තිනාමයට හානිවෙන අයුරින් ඊමේල් යැවීම. උදේ 9.30 ඉඳල 12.30 විතර වෙනකං ප්‍රශ්ණ කලා. මම මගේ කතාව කියුවට පස්සෙ හදපු කොම්පියුටරේ බලන්න ඕන උනා. මම එයාලව ගෙදර එක්ක ගියාම සී.අයි.ඩී එකේ අය මගෙ පරිගණකය භාරගත්ත, මම කැමැත්තෙන් දෙන බවට ලියුමක් ලියාගෙන.(ඒක දුන්නැත්තං මාව රිමන්ඩ් කරනව කිව්වා.) මගේ බිරිඳ එතකොට සයමස් ගැබිණියෙක්, එයා හොඳටම බයවෙලා. ඊට අමතරව ටික වෙලාවකට එළියට ගිය යාළුවට මොකද උනේ කියල ඔෆීස් එකෙන් කලබල වෙලා. සී.අයි.ඩී එකට මම ගැන අහල කොල් පෝලිමට එනවා. කොහොම හරි හවස 6.30ට විතර මට යන්න දුන්න. ඊට පස්සෙ සී.අයි.ඩී එක ඒගැන කිසි කතාවක් නෑ. එයාල ගත්ත පරිගණකය අද වෙනකං හම්බුනෙත් නෑ. ඇහුවම මම වැරදි කාරයෙක් කියල බය කරනවා. ඒ මිනිස්සු දන්නැති උනාට මම ඒ පරිගණකය හැදුවෙ බොහෝම අමාරුවෙන්, ඒත් ගෙදර ඉන්න වෙලාවට මොකක් හරි වැඩක් කරල කීයක් හරි හොයාගන්න. ඒ වගේම මගේ පුංචි පුතා ඉපදුනු දවසෙ ඉඳල ගත්ත ඡායාරූප, එයාගෙ අධ්‍යාපන වැඩසටහන්, මගේ හැම දෙයක්ම තැන්පත් කරල තිබ්බෙ ඒ පරිගණකයේ. දැන් ඒක කොහොම තියෙනවාද කියල දෙයියො තමයි දන්නෙ.
පස්සෙ කල්පනා කරල බලනකොට මගේ කාර් එක නිසා මට පොලීසියටත් යන්න උනානේ කියන දේ හිතුනා. නිකං පොලීසියකටනං කමක් නෑ හාහාපුරා කියල ගිහින් තියෙන්නෙ සී.අයි.ඩී එකට.
ඔය අතරෙ මේ ළඟදි මම කාර් එක ඔෆිස් එකට අරං ගියා. (ආර්ථික ප්‍රශ්ණ නිසා කාර් එක එලියට දාන්නෙ එහෙමත් දවසක තමයි.) එදා හවස මගේ යාළුවෙකුගේ අවශ්‍යතාවයකට පොඩ්ඩක් එලියට යන්න ගියා. වටේ යන්නැතුව රිවස් කරල කන්නවා කියල හිත‍ාගෙන ගේට්ටුව පැත්තෙන් ආපු වාහනේ දිහා බලාගෙන රිවස් කරනකොට මගෙ කාර් එක දඩාං ගාල වැදුනා. අනිත් පැත්තෙන් ආපු ජීප් එකක, නිකං එකක් නෙවේ BMW x1එකක්. හෙන ලොක්කෙක් ගේ. ඒ ඩ්‍රයිවර් මම පස්සට ගන්නකං වාහනේ නවත්තගෙන බලාගෙන ඉඳල, පොඩි හොන් එකක්වත් ගැහුවෙනෑනෙ වදිනකං. ඒ වාහනේ පේන්ට්එක පොඩ්ඩක් හීරුනාට තවත් ඩැමේජ් තියෙනවලු, මට අතින් ගානක් දෙන්නලු. ගානක් කිව්වට ඒකෙ හැටියට 20% උනත් 20000ක් විතර වෙයි වගේ.) හිඟන්නගෙ පාත්තරේටමයි හෙනහුරත් ඉඳල ඉඳල පහර දෙන්නෙ.

අත බලල කියපු මිනිහ හරි.... මට වාහන අපලයි..... පොඩ්ඩක් නෙවෙයි ගොඩාක් අපලයි. වාහන විතරක් නෙවේ මම අපලයි!!

Comments

  1. Great article Saliya. You have written this very well. Good work.

    ReplyDelete
    Replies
    1. Thank you Machan, මේක තමයි මගේ සරළ අතීත කතාව. ඒ කතාවේ උඹත් ඉන්නවා. :)

      Delete
  2. මචං සාලිය. අහම්බෙන් වගේ අද තමයි මම උඹෙ බ්ලොග් එක දැකලා කියෙව්වේ. උඹ දිගටම ලියපං. අපි කියවනවා අනිවාර්යෙන්ම. ජීවිතය ජයගන්න මම උඹට සුභ පතනවා ෴

    ප.ලි. : අර අත බලල අනාගතය ගැන කියපු තැනට අපිවත් එක්ක යන්න බැරිද ?

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා මෙතැනට දාන්න.

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය